රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි 

සභාපති කිත්සිරි වනිගසේකර මහතා                   ප්‍රධාන විධායක නිලධාරී ලෝහික ෆොන්සේකා මහතා

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමක් මෙන්ම සුප්‍රකට ආර්පිකෝ සන්නාමය යටතේ ක්‍රියාත්මක වන එකම මූල්‍ය ආයතනය වන රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2021/22 මූල්‍ය වර්ෂයේදී ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ සාර්ථක කළමනාකරණ ක්‍රමෝපායන් නිසා, පෙර වසරට සාපේක්ෂව මෙම වසරේදී සමාගමේ බදු-පෙර ලාභය 283% කින් වර්ධනය වී ඇති  අතර, රු. මිලියන 444 ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම අදාළ කාලසීමාව තුළ සමාගමේ ආදායම 16% කින් වර්ධනය වී, රු. මිලියන 2,441 ක් ලෙස සටහන් වී ඇති අතර, සමාගමේ තැන්පතු පදනම සහ වත්කම් පදනම පිළිවෙළින් රු. මිලියන 9,910 සහ රු. මිලියන 17,927 දක්වා වර්ධනය වී ඇත.

“ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් වඩාත්ම අභියෝගකාරී කාලසීමාවක් තුළ රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම සාර්ථක ලෙස මෙහෙයවීමට එහි කළමනාකාරීත්වය සමත් වී ඇති බව අපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත දැනුම් දෙන්නේ ඉමහත් සතුටින්. මේ ජයග්‍රාහී ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වනවා. අපගේ ඩිජිටල්කරණ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා අපි මෙම වසරේදී CEFTS සහ JustPay සාමාජිකත්වයන්ද ලබාගත්තා. එමෙන්ම අපගේ සේවාවන් එකතුව තවදුරටත් පුළුල් කිරීම සඳහා උකස් සේවාවන් ඇතුළු නව සේවාවන් කිහිපයක් හඳුන්වා දීමට අප කටයුතු කළා.  මීට අමතරව 2021/22 මූල්‍ය වර්ෂය තුළදී අපගේ සේවා ස්ථාන තුනක් පූර්ණ පහසුකම් සහිත ශාඛා බවට වැඩිදියුණු කිරීමටත් අපට හැකියාව ලැබුණා. මෙම සමාලෝචනයට අදාළ වර්ෂය තුළදී, පළමු ප්‍රාග්ධන ස්ථරය (Tier-1 capital base) ශක්තිමත් කිරීම සඳහා රු. මිලියන 280 ක් වටිනා කොටස් ප්‍රාග්ධනයක් සම්පාදනය කරන ලද අතර, දෙවන ප්‍රාග්ධන ස්ථරය (Tier-2 capital base) ශක්තිමත් කිරීම සඳහා රු. බිලියනයක ණය ප්‍රාග්ධන සම්පාදනයක් සිදුකෙරුණා. මේ නිසා සමාගමේ ප්‍රාග්ධන සප්‍රමාණතාව, සම මට්ටමේ අනෙකුත් සමාගම් වලට සාපේක්ෂව පැහැදිලිවම ඉහළින් තිබෙනවා. සෑම විටම ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙන අතරම, ස්ථාවරත්වය හා ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගනිමින්, අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින්, ව්‍යාපාරය පුළුල් කිරීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාම අපගේ බලාපොරොත්තුවයි.” රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෝහික ෆොන්සේකා මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන Fitch Ratings Lanka Limited වෙතින් AA-(RWN)  ශ්‍රේණිය හිමි වීම, රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය ශක්තියට මනා සාක්ෂියකි. මීට අමතරව රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සමාගමේ ඉදිරි ගමනට නායකත්වය ලබාදීම සඳහා, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන කිත්සිරි වනිගසේකර මහතා සමාගමේ සභාපති ලෙස පත්කරන ලද අතර, අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන ශාන්ත විජේවීර, කිත්සිරි විජේරත්න, අසෝක කැප්පෙටිපොළ සහ කැලුම් සේනානායක යන මහත්වරුන් ය.  සමාගමේ ආයතනික කළමනාකරණ කණ්ඩායම ප්‍රවීණ බැංකුකරුවන් සහ නීති වෘත්තිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් ප්‍රවීණ වෘත්තිකයන් පිරිසකගෙන් සමන්විත වේ. ශක්තිමත් ඒකාබද්ධ පාලන යාන්ත්‍රණයක් තුළ අවදානම් කළමනාකරණය සහ අනුකූලතාව සම්බන්ධ ශක්තිමත් අභ්‍යන්තර පාලනයන් ඉහළම ගුණාත්මක තත්ත්වයකින් පවත්වා ගනිමින් සහ ඩිජිටල් පරිවර්තනයේ ඉදිරි පියවර සමගින් සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගැනීමට තමන්ට හැකියාව ඇති බවට රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම විශ්වාස කරයි.

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලාංකිකයින්ට පුළුල් පරාසයක පැතිරුණු ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ලීසිං, ඉස්ලාමීය මූල්‍ය, ව්‍යාපාර ණය, පුද්ගලික ණය, උකස් සේවාවන්, ගෘහ භාණ්ඩ මුල්‍ය පහසුකම් සහ ඩිජිටල් මුල්‍ය විසඳුම් ඇතුළු මූල්‍ය සේවාවන් රාශියක් පිරිනමන අතර, රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරය වසර 90 කට අධික ඉතිහාසයක් ඇති විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. එහි ප්‍රධානතම සන්නාමය වන ‘ආර්පිකෝ සුපර්සෙන්ටර්’ වසර 50 කට අධික කාලයක් විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් අඛණ්ඩව පාරිභෝගික සේවා සපයන කීර්තිමත් ආයතනයක් වන අතර මේ වන විට මෙරට ශක්තිමත්ම සහ දොරින් දොර කියවෙන සන්නාමයක් බවට පත්වී තිබේ. රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මෙරට නිෂ්පාදන, වැවිලි කර්මාන්ත, මූල්‍ය සේවා, අපනයන, FMCG, කාර්ය සම්පාදනය සහ පාරිභෝගික විකුණුම් වැනි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අතර 27,000 කට අධික පිරිසක් සේවය කරන,මෙරට පෞද්ගලික අංශයේ විශාලතම සේවායෝජකයෙකු ලෙස ද සැලකේ.